06/09/2025
අයිස් හදන එක හිතන තරම් ලෙසි නෑ යාලුවනේ. මං අවුරුදු ගාණක ඉදන් try කරන්නෙ. 🥶
හරෙන් මෙහෙන් බඩු ටිකක් එකතු කරලා කෙමිකල් ටිකක් දාලා පාට වෙන්න ඩයි ටිකකුත් දාලා කල් තියාගන්න තව මොනව හරි දාලා පැකට් කරලා පොඩි උන්ට පොවන එක හරි ලේසියි. උපරිම ලාභ තමයි...
කළින් කියපු අයිස් වගේ කෘතීම දේවල් අවුරුදු ගාණක් එක දිගට බීපුවම රටේ ළමා, තරුණ පරම්පරාවට අත් වෙන ඉරණම ගැන, සෞඛ්‍ය ගැටළු ගැන අලුතෙන් කතා කරන්න දෙයක් නැහැනේ.. මහරගම අපේක්ෂා රෝහල දිහ බැලුවම රටේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්, වකුගඩු ලෙඩ්ඩු, දියවැඩියා ලෙඩ්ඩු වැහිවැහැලා.....
රට යන්නෙ හොද අතට නෙමෙයි කියලා තේරුණ නිසා අවුරුදු ගාණකට කළින් අදහසක් ආවා වස විස නැති අයිස් ටිකක් වෙළදපොලට එකතු කරන්න. මුළු රටටම බෙදාහරින්න බැරි උනත් අවට ප්‍රදේශයේ හරි මන්දපෝෂණයෙන් , රෝග වලින් ඉස්සරහට යන අපේම පොඩි උන්ට වස විස නැති ස්වාභාවික අයිස් පැකට් එකක් ගන්න අවස්තාව උදා කරලා පෝෂණ මට්ටම ඉහළට ගන්න.
අපේ රටේ පසු අස්වනු හානිය හිතාගන්න බැරි මට්ටමක තියෙන්නෙ. අඹ වාරෙට අඹ ගස් යට ගෙඩි ලක්ෂ ගණන් අපතෙ යනවා, අඹ විතරක් නෙමේ මොනතරම් දෙශීය පළතුරු අපතෙ යනවද කියලා පළතුරු හැදෙන ප්‍රදේශ වල මිනිසුන් දන්නවා.. රස ගුණ තියෙන පළතුරු ගස් යට කුණු වෙලා යද්දි ඇයි දෙයියනේ අපි කෘතීමව රස කළ පළතුරු රසැති සෞඛ්‍යට අහිතකර පාන වර්ග භාවිතයට ගන්නේ......
ඔය ප්‍රශ්න නිතරම මොළේ වැඩ කරද්දි කොහොම හරි අතේ තිබුණ සල්ලි වලින් වැඩේ පටන් ගත්තා.. ගෙදර ෆ්‍රිජ් එකේ හරි දාලා කූල් කරලා වැඩේ කරන්න හිතාගෙන. සීලර් මැෂින් එකකුත් ළඟ ගෙදරකින් ඉල්ලගත්තා.වැඩේ කොහොම හරි අල්ලගෙන ගියත් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් කුඩා පරිමාණයෙන් වැඩේ කරගෙන යද්දි වියදම වැඩියි..අතින් වැඩ කරද්දි හරියට ජීවාණුහරණයක් වෙන්නෙත් නැති නිසා කල් තියාගන්නත් අමාරුයි. ඒක නිසා automatic liquid sealer machine එකයි, අධිශීතකරණයකුයි ගන්න අවශ්‍යතාව ආවා. ඒකට බැංකු ණයක් ඉල්ලුම් කරන්න හිතුවා. අතේ තිබුණ මුදල් වලිනුයි යාලුවන්ගෙන් එකතු කරගත්ත මුදල් වලිනුයි වැඩේ ඇදගෙන ගියා..
කෘෂිකාර්මික ව්‍යවසායකයින් සඳහා වූ 6.5 % පොළියට මිලියන දෙකක ණය මුදලක් ගන්න ලිපිගොනු සම්පූර්ණ කරලා භාර දීලා දැන් අවු දෙකකට කිට්ටුයි. ඒක ගැන දැන් කිසිම කතාවක් නෑ.. ඒත් වැඩේ කොහොම හරි ඇදගෙන ගියා. සාමාන්‍යයෙන් රු. 20/- තියෙන අයිස් එක තමයි ජනප්‍රියම. Cost එක වැඩි උනත් ඒ මිළට වඩා වැඩි උනොත් ඉල්ලුම අඩු වෙනවා. කොච්චර ස්වාභාවිකයි ගුණත්මකයි කිව්වත් සයිස් එකෙන් වැඩි කොමිස් එකත් වැඩි artificial ice පැකට් එක්ක තරග කරන එක හරි අමාරු වැඩක්.
ඔක්කොම දරාගෙන, තව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වගේ ආයතන වලින් සහය අරගෙන පුහුණු වැඩසටහන් වලට ගිහින් වැඩේ ඇදගෙන ආවා. කොහොම හරි මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ අගුණුකොලපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB ) මගින් පොළී රහිතව මිලියන එකක ණය යෝජනා ක්‍රමයකට මම තේරුනා. ඒකට තෝරගත්තෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් සීමිත පිරිසක් විතරයි. ව්‍යවසායකයින් පහළොස් දහසක් ගොඩනැගීමේ ජාතික වැඩසටහන මාතරදී පසුගිය ජනවාරි 28 වන දින පැවැත්වුණේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් . එතුමාගේ අතින්ම ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලැබීමේ ලිපියද මට ලැබුණා. ගරු අමාත්‍යතුමා එක්ක වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන නියෝජිතයින් සමඟ සමග කතා කරන්නට මට අවස්ථාව ලැබුණා.ඔවුන් ව්‍යාපාර කටයුතු පිළිබඳව ගොඩක් සතුටට පත්වුණා. ඒත් සුදුසුකම් ලැබීමේ ලිපියද ලැබිලා මාස හතක් ගෙවිලා ගියත් තවම කිසිදු ණය මුදලක් ලැබුනේ නැහැ. ණය මුදල් ලබාගෙන ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අරමුණ මං හිතින් අයින් කරගෙන ඉවරයි.ඒත් ඒ ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් ,ඇපකරුවන් සොයා ගැනීමට සහ ලියකියවිලි සම්පූර්ණ කිරීමට කැපකළ කාලය පිළිබඳව විශාල කණගාටුවක් හිතේ තියෙනවා. කලකිරීමට කාරණය නම් පොලී රහිත ණයෝජනා ක්‍රමයකට සුදුසුකම් ලබා තිබියදීත් ණය මුදල නොලැබීම පිළිබඳව පසුව කළ විමසීම් ගණනාවකදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අගුණුකොලපෑලැස්ස ශාඛාව මඟින් මට යෝජනා කළේ 14% වැනි ඉහළ පොලී මුදලකට ණය මුදල ලබා දෙන්න පුළුවන් කියලා. අපි නම් තෙමේ වැස්සට කියලා මම ණය ගන්න එක හිතින් අත ඇර ගත්තා😀
තව කියන්න ගියොත් ඔය වගේ ගැටලු රාශියක් තියෙනවා.ඒවා ගැන කතා කරන එක තේරුමක් නෑ.. අවශ්‍ය වෙන්නේ විසඳුම් විතරයි. කොහොම වුණත් බඩගාගෙන හරි ගිහිල්ලා හරි හිතේ තියෙන මේ ස්වාභාවික, ගුණාත්මක සෞඛ්‍යයට හිතකර අයිස් පැකට් නිෂ්පාදනයක් ඇති කරන්න උත්සාහ කරනවා. අයිස් පැකට් විතරක් නෙමෙයි නෙමෙයි. ස්වාභාවික ද්‍රව්‍යයන්ගෙන් අපිට කරන්න පුළුවන් නිෂ්පාදන ඕන තරම් තියෙනවා.වර්තමානයේ අපේ ආහාර රටාව යන්නේ හොඳ පැත්තකට නම් නෙවෙයි.අපේ කොල්ලෝ කෙල්ලෝ ටික විස අයිස් වෙනුවට ගුණ අයිස් ගහන්න පුරුදු කරන්න ඉක්මනින් ලොකු උත්සාහයක් ගන්න වෙනවා.
විස අයිස් හදන උදවියට කොච්චර දේශපාලන ආර්ථික සමාජ හයියක් තිබුණත් ,අනුග්‍රහය ලැබුණත් දවසක සොබාදහමෙන් ඒ අයට ලැබෙන්න ඕන ප්‍රතිචාරය ලැබෙනවා.කර්මය කියන්නේ ඒක..තාවකාලිකව මොනතරම් ලාභ ලැබුවත්.ඒ ලාභ වලින් සුරසැප වින්දත් කරපු පව් ගෙවන්න ගත්තම ලාභ වලට වඩා සියගුණ වලින් ගෙවන්න වෙනවා.ඉතින් ලෝකයේ වෙන කිසිම රටක් අපි තරම් වහකන්නෙ නැතුව ඇති. ඒවගේම තමන්ගෙම ජාතියට වස විස කවාගන්නේ නැතුව ඇති .අපි නැති කරගන්නේ අපි විනාශ කරගන්නේ අපේම ජාතිය.අපේම අනාගතය.
2023 අවුරුද්දේ මම වියට්නාමයේ සංචාරයක ගියා. ඒ රටේ මිනිස්සු මේ වෙද්දී ගොඩක් නීරෝගියි. ගෝලීය සංවර්ධන දර්ශකයේ ඔවුන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ.ඒකට ප්‍රධාන හේතුව ඔවුන්ගේ යහපත් ආහාර පරිභෝජන රටාව. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කියන්නේ වේගයෙන් සංවර්ධනය වන රටක්.
ශ්‍රී ලංකාවේ සාධාරණ ව්‍යවසායකයෙක් , මනුස්සයෙක් වෙනවා කියන්නෙම යුද්ධයක් කරනවා කියන එකමයි.
අසාධාරණව හම්බ කරලා කෝටිපති නිවටයෙක් විදිහට මැරෙනවට වඩා සාධාරණව හම්බ කරන්න ,සමාජයට යහපතක් කරන්න උත්සාහයක් ගනිපු මිනිහෙක් විදිහට මැරෙන එක සැපයි.
දැන්වත් මේ ක්‍රමය වෙනස් කරමු. අපි වෙනස් වෙමු. අපි අපිට ආදරය කරමු. වැටි වැටි නැගිටිමු . රටට ආදරේ හැමෝටම ජය වේවා! ❤️
ස්තුතියි !
මම ගොපළු කොල්ලා.