28/04/2023
වෙසක් කාලෙට ගමෙත්, නගරෙත් වෙසක් බලන්න යන අයට කන්න දෙන්න හැමතැනකම දන්සල් දෙනව,
බෞද්ධ කොඩිය දන්සල් වලට සෙනඟ ගෙන්වා ගන්න පාවිච්චි කරනවා.
වාහන නවත්ත ගන්න බෞද්ධ කොඩි සොලවන පිරිස නිසා වාහන වලට පවා තුවාල සිදුවෙනවා.
ඒත් දන්සල් වල කොඩි සොලවන අය උත්සාහ කරන්නේ එයාලගෙ දන්සල් වලට කොහොම හරි, මිනිස්සුන්ට කොඩියෙන් ඇනල හරි, ගහල හරි සෙනග ගෙන්වා ගන්න
මේ වගේ එන මිනිස්සු එක තැනකින් කෝපි බීල, තව තැනකින් ප්ලේන්ටි බොනව.
ටිකක් ඉස්සරහට යද්දී තියෙන සව් දන්සල දැක්කම කෙළ හලන් සව් කෝප්පයකුත් බොනව.
ඒකෙන් නතර වෙන්නෑ.
ආයෙ හම්බෙන ෆලූඩා කෝප්පෙත් බීලම තමයි ඉස්සරහට යන්නේ.
නිදිමත වීගෙන එනකොට හම්බෙන
කිරි කෝපි දන්සලට යන්නේ නිදිමත යන්න කියලා කිරි කෝපි බොන්න.
ආයෙ ඉතින් ඔහොම යනකොට පැය බාගෙකින් විතර සුප් දන්සලක් හම්බෙනව. ඒකෙ සුප් සුවඳට ඉබේම වගෙ වාහනේ නැවතෙනව.
ඒකෙන් දෙන උණු උණු සුප් කෝප්පෙත් බීල ආයෙ ගමන පටන් ගන්නව.
ආයෙ හම්බෙන්නෙ ,"මිතුරු සමාජය" විසින්
4 වන වරටත් සංවිධානය කරන
"මහා කඩල දන්සල".
කඩල ප්ලේට් එකක් කෑවට බඩ පිරෙන්නෑනෙ ගොඩක් කියලා ඒකකුත් කනවා.
අඩි 2 ක් යන්න ලැබුන්නෑ, මඤ්ඤොක්කා දන්සල පේනව,
වාහනේ කට්ටියට යන ගමන් කකා යන්න කෑම පෙට්ටියකට මඤ්ඤොක්කා ඉල්ලන් දාගන්නව.
මේ වගේ වරද්දන්නැතුව හැම දන්සලකටම ඉතාමත් සක්‍රීයව සහභාගී වෙලා,
යන කට්ටිය, තොරණ ගාව තියෙන පොල් රොටි දන්සලට යන්නේ තොරන් රාජයා බලන්න නම් නෙවෙ.
පොල් රොටි කට්ට සම්බෝල එක්ක කන්න.
ඔහොම යනකොට බත් දන්සල් එකදිගට හම්බෙනව.
ටික ටික රෑ වෙනකොට විවෘත කරන බත් දන්සල් වලින් රෑ කෑම කන්න පුළුවන් හින්ද මුලින්ම පේන බත් දන්සලට හොර පෝලිමේ ගිහින් බත් කාල එනව.
දැන් නම් උගුරටම ඇවිත් වගේ ආයෙ නම් මුකුත් කන්නෑ කියලා වෙසක් ගමනෙ ඉතිරි ටික යන්න හදනව.
පැය 1 1/2 න් විතර 12 වන වසරටත් පවත්වන
"මහා දුන්තෙල් බත්" දන්සල පේනව.
කොහොමද දුන්තෙල් බත් කටක් වත් නොකා ඉන්නේ කියලා ආයෙ හොරාට පෝලිම් පැනල ජයග්රාහි ලීලාවෙන් දුන්තෙල් බත් කනව.
මිනිත්තු 10 යන්න කලින් වාහනෙන් බැහැල ඒ මනුස්සය වමනෙ දානව.
වමනෙ දාල ටිහිකින් ආයෙ වාහනේ එළවනවා.
ඕන්න එතකොටම දකුණු පැත්තෙ තියෙන නූඩ්ල්ස් දන්සල හම්බවෙනව.
නූඩ්ල්ස් කියන්නෙ ආසම කෑමක් කියලා නූඩ්ල්ස් කාල එතනින් දෙන අයිස්ක්‍රීම් කෝන් එකත් කනව.
මේ විදිහට වෙසක් බලන්න යන මිනිස්සු, කාන්තාවන්, දරුවන් පවා ගෙදර එන්නේ ලෙඩ්ඩු වෙලා.
හතිය කියන්, උණ කියන්, කැස්ස වැඩි උනා කියන්, හෙම්බිරිස්සාව කියන්, බඩේ අමාරුව කියන්, අජීරණය කියන් ඊට පහුවෙනිදා ඩිස්පෙන්සරි ළඟ පෝලිම් ගණන් සෙනඟ පිරෙනව.
මහ රෑ ජාමෙ වෙනකල් පවත්වන ඒ දන්සල් දිහා කෑම ඉල්ලන්න බැරුව අසරණ ඇස් වලින් බලන් ඉන්න අහිංසක බල්ලො, පූසො, කපුටො ඕනෙ තරම් ඉන්නව.
ඒ මිනිස්සුන්ටවත්, කාන්තාවන්ටවත්,
සංවිධායකයන්ටවත් හිතෙන්නෑ ඒ ඒ දන්සල් ඇත්තටම දෙන්න ඕනෙ කාටද කියලා..
මිනිස්සුන්ට බලෙන් කන්න දෙන දන්සල් වෙනුවට ඒ අසරණ සතුන්ට දන්සල් දෙන්න මෙදාසැරෙ වෙසක් එකේදි අපි කාටත් පිංබර අවස්ථාවක් හම්බවෙලා තියෙනවා.
කලින් අවුරුදු වල වගේ කාලය නාස්ති නොකර මෙදාසැරෙ වෙසක් වලට සත්තුන්ට දන්සල් දෙන්න පුළුවන් නම් , රසම රසට කෑම ටිකක් උයල ඒක ඔයාගෙ ජීවිතයට වගේම ඒ අසරණයන්ටත් වාසනාවන්ත සුපින්බරම වෙසක් මංගල්‍යය වේවි.
සත්ව අයිතීන් සුරැකීමේ බලකාය